සුමනරතන හිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි

තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක්   තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන් 11 වෙනිදා ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් 15 වෙනිදා සවස මඩකලපුව පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

2023 වසරේ පෙබරවාරි 23 වෙනිදා වෙඩි ප්‍රහාරයට ලක්ව තමන් අනු නවයෙන් බේරුණු බවත්, එම සිද්ධියේ පරීක්ෂණ යට ගසමින් තිබෙන අවස්ථාවක තමන්ගේ ආරක්‍ෂාවට සිටි සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත්, ඊට එම නිලධාරීන් ඉවත් කළ සියලූ ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් වගකිය යුතු බවද සුමනරතන නාහිමියන් සඳහන් කළහ.

වසර තිහක කුරිරු යුද්ධයේදී එල් .ටී.ටී. ඊ ත්‍රස්තවාදීන් සමඟ ගැටෙමින් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව දිවි හිමියෙන් බේරාගත් තමන්ට ආරක්‍ෂාවට සිටි එම සිවිල් ආරක්ෂක භටයින් හිටිහැටියේ ඉවත් කිරීම, තම ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවද අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙහිදී සඳහන් කළහ,

නැගෙනහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාලීමට නායකත්වය ගෙන ක්‍රියා කරන සමයේ සිට තමන්ට විවිධ අන්තවාදී සංවිධානවල නායකයින්ගෙන් සහ දේශපාලන කුමන්ත්‍රණකාරීන්ගෙන් මරණයේ තර්ජනය එල්ලු වු බවත්, ඔවුනට විරුද්ධ පොලිසියට සහ ආරක්ෂක අංශවලට කොතෙක් පැමිණිලි කරද ඊට තමන්ට කිසිදු සාධාරණයක් නොවන බවත් උන්වහන්සේ පැවැසූහ.්‍

එවැනි වකවානුවක තම ආරක්ෂාව සිටි නිලධාරීන් ඉවත් කිරීම කනගාටුදායක කරුණක් බවත්, මේ පිළිබඳ අවධානය යොමු කරමින්   තම ජීවිතයට අනතුරක් සිදුවීමට පෙර තම ජීවිත ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් නැවත වරක් ලබාදීමට ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගෙත්, ආරක්ෂක අමාත්‍යවරයාගෙනුත් ඉල්ලා සිටින බවද අම්පිටියේ සුමනරතන නාහිමියන්  වැඩිදුරටත් සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *