අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී  සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ලක්දිව භික්‍ෂුණී ශාසනය ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ  අනුලා සෑය, මිහින්තලා රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දන්වා තිබේ.

එහෙත් මේ වන විට මහා නායක හිමිවරුන්ගේන් හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනු දැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් දස වසරක ගිවිසුම් ගතව ඇති බවත් මහානායක හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සදහන්  වේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එම ගිවිසුම  අවලංගු කිරීමටත්, එහි සංවර්ධන කටයුතු මහනායක හිමිවරුන්ගේ සහ  මිහින්තලා රජමහා විහාරාධිපති හිමිපාණන්ගේ නිසි අනුදැනුමක් මත විනිවිද භාවයකින්, මෙම ඓතිහාසික ස්ථානයේ උරුමය ආරක්ෂාවන පරිදි  ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, මල්වතු මහා නා හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යොමු කල එම ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *