සිරිල්

සිරිල් ගාමිණී පියතුමන් ගෙන් CIDයට ලිපියක්

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

අදාළ දිනය ලබාදී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛකාධිකාරීවරයා විසිනි.

පෙර සිදුකර තිබූ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමාව ඊයේ (03) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණත් උන්වහන්සේ අදත් එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය 25වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාව අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

පියතුමන් වෙනුවට පැමිණි නීතීඥ කණ්ඩායම උන්වහන්සේ නොපැමිණි හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී තිබේ.

ඉන් ඔවුන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති කැඳවීම නිසා මූලික මානව හිමිකම් කඩවී ඇතැයි චෝදනා කරමින් පියතුමන් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවය.

ඒ අනුව තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන නියෝග මත කටයුතු කරනු ඇති බව සිරිල් ගාමිණී පියතුමාගේ නීතීඥවරු දැනුම් දී ඇත.

පෙත්සම්කාර සිරිල් ගාමිණී පියතුමා කියා තිබුණේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා තමන්ට අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමක් කර ඇති අතර ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමට එම දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීමෙන් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බැවින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *