සිංහල අවුරුද්දට පෙර මෙරට ලක්ෂ 25කට කොවිඩ් එන්නත

සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට ජනතාවගෙන් ලක්ෂ 25කට කොරෝනා එන්නතේ පළමු මාත‍්‍රාව ලබාදී අවසන් කරන බව කොවිඩ් මර්දනය පිළිබඳ ජාතික වැඩසටහනේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඒ අනුව ඊට අවශ්‍ය කරන ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ගෙන්වීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක බවයි ඒ මහතා සඳහන් කර සිටින්නේ.

කොළඹ, ගම්පහ සහ කළුතර යන බස්නාහිර පළාතේ ප‍්‍රදේශවලට අයත් අවදානම් කලාප වල පදිංචිකරුවන්ට වැඩි අවධානයක් යොමුකරන බව පැවසූ ඒ මහතා එම කලාපවල පදිංචි වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයනට මෙම එන්නත ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද කීවේය.

ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වනවිට ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදීගත් කොවිෂීල්ඞ් එන්නත් මාත‍්‍රා ලක්ෂ 10ක් ලැබී ඇති අතර තවත් මාත‍්‍රා ලක්ෂ 10ක් මාර්තු 15 වැනිදා වනවිට ලැබීමට නියමිත බවත් ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබාදෙන එන්නත් මාත‍්‍රා ලක්ෂ 10ක්ද ලැබීමට නියමිත බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *