සමෘද්ධියට පණ දෙන්න ජාතික වැඩසටහනක්

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරින් සමඟ පැවැත්වු සාකච්ඡාවකට පසුගියදා සහභාගී වෙමිණි. එම සාකච්ඡාව පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී.

“අලුත් ගමක් – අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර තිබේ. ඒ සඳහා වන උපායමාර්ගික ක්‍රියාකාරකම් හදුනා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් මේ දිනවල සිදුවෙයි. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය සවිබල නැංවීම සඳහා වන යෝජනා එම ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගෙන් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදී කීවේය. නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මතුවන ගැටළු හදුනා ගැනීම හා ඊට විසඳුම් ලබා දීම එහි අරමුණයි.

සමෘද්ධි ව්‍යාපාරය මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා ආරම්භ කළ ප්‍රධානතම ව්‍යාපෘතියකි. ඒ වෙනුවෙන් සහල් සලාක ක්‍රමය, ආහාර මුද්දර ක්‍රමය, ජනසවිය වැඩසටහන, සමෘද්ධි හා අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.
සමෘද්ධි ව්‍යාපාරය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ඒ නියමු ව්‍යාපෘතියක් ලෙස හා ජාතික ව්‍යාපෘතියක් ලෙසයි.

සවිබලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර, ලෝක බැංකු මූල්‍යාධාර සහ ජපන් සමාජ සංවර්ධන අරමුදල් යටතේ නියමු ව්‍යාපෘතිය මූලාශ්‍ර 03ක් යටතේ ක්‍රියාත්ම කෙරේ.

ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර නියමු ව්‍යාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 13ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 64ක, ග්‍රාම නිලධාරී වසම් 400 ක පවුල් 10,000ක් සවිබලගැන්වීමට අපේක්ෂිතයි. ව්‍යාපෘති කාලය වසර දෙකකි. ඒ සඳහා රුපියල් මිලියන 2,223.14 මුදලක් වෙන් කර තිබේ. එක් ප්‍රතිලාභියකු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 150,000කි. කළුතර, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *