සඳුදා දක්වා විදුලි කප්පාදුවක් නෑ මහජන උපයෝගිතා කොමිසම පවසයි

ජනවාරි 31 සඳුදා දක්වා කාලසටහන්ගත විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද නිවේදනය කළේය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ ඉදිරි දින තුන තුළ විදුලි කප්පාදු නොකිරීමට තීරණය කර ඇති බවයි.

හෙට (28) පස්වරු 06.30 සිට රාත්‍රී 10.30 දක්වා කාර්ය බහුල වේලාවන්හිදී සුළු විදුලි හිඟයක් පවතින බව පවසමින් ඔහු මෙම කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

රටේ වත්මන් විදුලි අර්බුදය සමාලෝචනය කිරීම සඳහා අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ අඟහරුවාදා (25) සිට අද දක්වා විදුලිය බිඳවැටීමක් සිදු නොවන බවත්, ඉදිරි විදුලි කප්පාදුව පිළිබඳව අද සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්ය.

ඉදිරි සති දෙක සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද පෙරේදා නිවේදනය කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින ඉන්ධන තොග මත පදනම්ව අවශ්‍ය ඩීසල් සහ උදුන් තෙල් ලබා දෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මේ අතර, ඉන්දියාවෙන් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණයක් ලබාදීමට ඉන්දියාව අද අනුමැතිය ලබාදී තිබෙනවා.

එම ඉන්ධන ණය මුදල ඉන්දියාවෙන් ලබාගැනීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දැනුම් දීමෙන් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකිව පැය 1කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කරන බවට ලංවිම අනතුරු අඟවා ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන සැපයුම්කරු CPC සමාගමට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *