සංචරණ සීමා ගැන තීරණ ගන්නා විදිය

මෙම සතියේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් තුන් වැනි රැල්ල හිස එසවීමෙන් පසු පැනවූ සංචරණ සීමා ජූනි 07 වැනිදා ඉවත්කිරීමට නියමිතව තිබුණත් තත්ත්වය පාලනය සඳහා රජය එම සංචරණ සීමා අද දිනය දක්වාත් පසුව ජුනි 21 දක්වාත් දීර්ඝ කිරීමට තීරණය කළේය.

ඒ අනුව අඛණ්ඩ සංචරණ සීමා පැවති අවසන් දින හත තුළ දෛනිකව හමු වී ඇති ආසාදිතයන් ගණන පවතින්නේ 2300 ත් 2800 ත් අතර පරාසයක ය.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 2,361 දෙනාගෙන් වැඩිම පිරිසක් හඳුනාගැනුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 362කි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ඊයේ දිනයේත් ආසාදිතයන් වාර්තා වී තිබුණි.

ඊයේ මෙරට තුළ සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 18,585ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

දෛනික ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවීමක් පෙන්නුම් කෙරුණත් ගෙවුණු සතියේ තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

අඛණ්ඩ සංචරණ සීමා පැවති ගෙවුණු අවසන් දින 14 තුළ මෙරට දෛනිකව තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාවී තිබුණේ මෙලෙසයි.

කෙසේ වෙතත් මෙම මරණ අතරට අදාල දිනයේම සිදු වූ මරණ වලට අමතරව දින හෝ සති කිහිපයක් පැරණි මරණද ඇතුළත්ව තිබුණි.

ජුනි 12 වනදා මෙරට කොවිඩ් ආසාදිත මරණ 67 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද ප්‍රකාශ කළ අතර ඉන් 12 දෙනෙකු නිවසේදීත් , තවත් 5 දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමේදීත් මියගොස් තිබූ බව ඔහු පැවසීය.

කෙසේවෙතත් එක් එක් දිනයට අදාළ කොවිඩ් මරණ දත්ත එම දිනවලම වාර්තා වලට ඇතුළත් කර නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද ප්‍රකාශ කළේය.

මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.

කළුතර උතුරු පයාගල ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන අතරතුර අද යම් නොසන්සුන්තාවයක් හටගෙන තිබුණේ එන්නත් ලබාගැනීම සඳහා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් හයේම පිරිස් එකවර එහි පැමිණ තිබීම හේතුවෙනි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන් පළමු එන්නත ලබාගත් අයට දෙවැනි එන්නත ලබැගනීම සඳහා  අද දින පස්වරු 2.30 ට එහි පැමිණෙන ලෙස දැනුම්දී තිබූ අතර ඒ  අනුව නියමිත වේලාවට එහි ගිය ජනතාවට දැනගැනීමට ලැබුණේ එන්නත් අවසන් බවය.

මෙවැනි පසුබිමක වේයන්ගොඩ ප්‍රදේශයේ ගුරුවරුන් 300 දෙනෙකුට එන්නත් දීමේ වැඩසටහන අද පැවැත්වුණේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේදීය.

මේ වන විට කොවිෂීල්ඩ් , සයිනොෆාම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් ගණන 2,285,572කි.

එය මෙරට මුළු ජනගහනයෙන් 11% කට ආසන්නය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *