ශානි කළ ඉල්ලීම

අධිකරණයට අපහාසකළ බව පැවසෙන දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කළ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු කොමසාරිස්වරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ(11) සිය නීතීඥවරයා මගින් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

එම කොමිසමේ සභාපති සහ සාමාජිකයන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා මෙම ඉල්ලීම සිදුකළේය.

තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීම් කොමිසම විසින් ආරම්භකළ විමර්ශනයක් අධිකරණය හමුවේ පවතින පෙත්සම් විභාගය අවසන් වනතුරු ඉදිරියට පවත්වාගෙන නොයන බවට එම කොමිසම විසින් අභියාචනාධිකරණය ලබාදී  තිබුණි.

ප්‍රතිඥා කරන උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට ශානි අබේසේකර මහතා විසින් එම කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න, චන්ද්‍රා ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන සාමාජිකයන් තිදෙනාට එරෙහිව එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම සලකාබැලූ අභියාචනාධිකරණය එම කොමිසමේ සභාපති උපාලි අබේරත්න ඇතුළු සාමාජිකයින් තිදෙනාට ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබුණි.

ඒ අනුව පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කොමිසමේ හිටපු කොමසාරිස්වරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම කරුණට අදාළව විරෝධතා ගොනු කර තිබෙන බවය.

මීට අදාළව විරෝධතා ගොනු කිරීමට හැකියාවක් නොමැති බවත් වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව  වරෙන්තුවක් නිකුත්කරන ලෙසත් ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ එම විනිසුරු මඩුල්ලේ ඝනපූර්ණය නොමැති බැවින් එම පෙත්සම මේ මස 18 වනදා නැවත කැඳවීමට නියමකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *