ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස මන්ත්‍රී ඩයනා ගමගේ තේරී පත්වේ

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පසුගිය 29 වැනිදා තේරී පත් වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk මෙම රැස්වීමට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම රැස්වීමට මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද එක්ව සිටියා.

මෙම රැස්වීමේදී සංගමයේ උප සභාපතිවරුන් ලෙස අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජන් ෆලීල් යන මහත්වරු තේරී පත් වූහ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ලේකම්වරයා ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුස්ෂාරෆ් සහකාර ලේකම්වරයා ලෙසත් තේරී පත් විය. එම සංගමයේ භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් තේරී පත් විය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරට අතර ඉදිරි දශක ගණනාවක් පුරා පවතින සුහද සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බව කථානායකවරයා රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය.

“දකුණු අප්‍රිකානු කලාපයේ ශ්‍රී ලංකාව සඳහා ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවා වන්නේ දකුණු අප්‍රිකාව වන අතර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමට අපේක්ෂා කරයි” යනුවෙන් කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

සංගමයේ සාමාජිකත්වය පිළිබඳව සභාපතිවරයාට සහ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් Sandile Edwin Schalk, සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් ක්‍රියා ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කළේය.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන “ඔමික්‍රොන්” පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන අතර මහ කොමසාරිස්වරයා පැහැදිලි කළේ දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මෙම වෛරසය මුලින්ම සොයා ගත් නමුත් එය ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවෙන් නොවන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිනිය ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කියා සිටියේ දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යයනය සහ සුහද සංචාරයන් තුළින් ව්‍යවස්ථාදායක දෙකක් අතර සබඳතා තවදුරටත් පුළුල් කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *