ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා සමඟ ඉන්ධන ගැටලුව පිළිබඳ ජනපති සාකච්ජා කරයි.

ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන සඳහා සෞදි අරාබියට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් මහතාට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පෙරේදා (14) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදීය.

කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, තාක්ෂණය පදනම් කරගත් සංවර්ධනය සහ කොළඹ වරාය නගරය යන ක්ෂේත්‍රවල විදේශ ආයෝජන සඳහා පවතින අවස්ථා ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

Covid-19 වසංගතය ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව අල් සවුද් කුමරු දැනුවත් කරන ලදී. ප්‍රේෂණ අඩුවීම, සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීම, වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට ඇති වන බලපෑම සහ ඉන්ධන ඉල්ලුම ඉහළ යාමේ බලපෑම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

තම රට ද පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, මෙම අංශයෙන් ශ්‍රී ලංකාවට සහය වීමට ඔවුන් සූදානම් බවත් සෞදි විදේශ අමාත්‍යවරයා පැවසීය.

ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයා සහ සෞදි විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාවේ සෞදි තානාපති Abdulnaser bin Hussain Al-Harthi, සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Abdulrahman Arkan Aldawood, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *