විදුලි බිල තවත් වැඩි කරයි.

2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි 2.5% ක සමාජ ආරක්ෂණ බද්දක් විදුලි ගාස්තුවට එකතු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඊයේ (26) ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට (SSCL) යටත් වන බැවින් මෙම බද්ද එකතු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කළ රත්නායක කියා සිටියේ විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයින් ඇතුළු පාර්ශවයන් විසින් විදුලිය මිලදී ගැනීමේදී එම බද්ද අය කරන බවයි.

“සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි කර්මාන්තයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව විදුලි පාරිභෝගිකයින් ඇතුළු විදුලි ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන් විමසා තිබෙනවා. පසුගියදා විදුලි ගාස්තු සංශෝධනය වූ නිසා අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කළා විදුලි පරිභෝජනය මේ බද්දෙන් නිදහස් කරන්න කියලා. අදාළ පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම මෙම බද්දට යටත් වන බව මුදල් අමාත්‍යාංශය අප වෙත දන්වා ඇත. ඒ අනුව 2022 ඔක්තෝම්බර් 01 වැනිදා සිට ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය මිලදී ගන්නා සියලුම පාර්ශ්වවලින් විදුලිය මිලදී ගැනීමේදී බදු අය කිරීමට ලංවිම පියවර ගන්නවා,” ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *