විජිත හේරත්ගේ අසර්බයිජාන නිල සංචාරය අවසන්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, අසර්බයිජානයේ බාකු නුවර පැවති ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දෙමින් සිදු කළ දෙදින නිල සංචාරය අවසන් කර තිබේ.

අසර්බයිජානයේ සභාපතිත්වය යටතේ ඔක්තෝබර් 15 වැනිදා පැවති මෙම සමුළුවට සාමාජික රටවල් 28 නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වූහ. කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණය සහ තිරසර සංවර්ධනය ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

සමුළුව අමතමින් විජිත හේරත් මහතා, සාමාජික රටවල් අතර වඩාත් ශක්තිමත් සම්බන්ධතා, ඩිජිටල් පරිවර්තනය සහ සහයෝගීතාව තුළින් ආර්ථික ඒකාබද්ධතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

සමුළුව අවසානයේ බාකු ප්‍රකාශනය සම්මත කර ගැනීම, ලාඕසය පූර්ණ සාමාජික රටක් ලෙස පිළිගැනීම, 2026-2028 කාලසීමාව සඳහා අසර්බයිජානයේ සභාපතිත්වය දීර්ඝ කිරීම සහ CICA මහලේකම්වරයා ලෙස සුල්තාන් හජියෙව් පත් කිරීම සිදු විය.

සංචාරය අතරතුරදී අමාත්‍යවරයා අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා සමඟ සුගුල්බා මාලිගයේදී හමුවක් පැවැත්වීය. ඊට අමතරව අසර්බයිජානය, බහරේනය, තජිකිස්තානය, තුර්කිය සහ පලස්තීනය යන රටවල නියෝජිතයන් සමඟ මෙන්ම CICA මහලේකම් කයිරත් සරිබේ මහතා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

එම සාකච්ඡාවලදී වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

එසේම, බලශක්ති සහයෝගීතාව සඳහා පවතින අවස්ථා සොයා බැලීමේ අරමුණින් අසර්බයිජාන බලශක්ති සමාගමක් වන SOCAR සමඟ පැවති ඉහළ පෙළේ ව්‍යාපාරික හමුවකට ද අමාත්‍යවරයා සහභාගී විය.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිනිය මෙන්ම අසර්බයිජානය සඳහා ද තානාපති බලතල හිමි මහාචාර්ය ෆසීහා අස්මි මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග ආසියා හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ මහත්මිය ද අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියහ.

මෙම සංචාරය තුළින් CICA සාමාජික රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, කලාපීය ආර්ථික සබඳතා ඉදිරියට ගෙන යාමටත් ශ්‍රී ලංකාව දක්වන කැපවීම යළි තහවුරු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *