ලොරි රථ රියදුරුට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු කිසියම් පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනයේ සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසේත් අනුමත නොකරන බවයි. ඒ අනුව අදාළ පුද්ගලයාට පහරදුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ පන්නිපිටියේ මාර්ගයක රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු බිම ඇදවැටුණු පුද්ගලයකු මත නැගී ඔහුට පහර දෙන ආකාරයයි. වීඩියෝව සංසරණය වීමත් සමඟ අදාළ නිලධාරියා සොයා පොලිසිය වහාම විමර්ශනයක් සිදුකළ අතර එහිදී අනාවරණය වූයේ එම නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බවයි.

මෙම ස්ථානයේදී පොලිස් නිලධාරියා පහර දෙනු ලබන්නේ ලොරි රථ රියැදුරෙකුටයි. මෙම රියදුරා ඊයේ උදෑසන සිය ලොරි රථය පදවාගෙන යද්දී රාජකාරියේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර තිබේ. රථවාහන ස්ථානාධිපතිවරයා මේ වනවටිත් කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අනතුරින් පසුව මහරගම පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල් වරයකු අදාළ ලොරි රථ රියදුරුට මෙසේ පහරදි තිබේ.

මේ වනවිට අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *