රාජ්‍ය බුද්ධි ප්‍රධානි සලේගේ පැමිණිල්ල ගැන විමර්ශන අරඹන්න CIDයට නියෝග

පාස්කු දා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු තවත් අය සිදු කර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දින දෙස් විදෙස් ජනතාව දැනුම්වත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසදය විසින් පැවැත්වූ කරුණු දැක්වීමක් පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන මෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් පසුගිය 25 දා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්‌ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයට නායකත්ව දුන් ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යවශ්‍ය සහාය දුන් බව පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ පසුගිය 23 දා පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණී පියතුමන් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට එම පැමිණිල්ලේ සඳහන් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයකු වූ සලේ මහතා, ක්‍රියාකාරි වැඩ කොටසක් ඉටු කරන ලද බවත් පවසමින් සිරිල් ගාමිණී පියතුමා හා වෙනත් අය විසින් කර ඇති එම චෝදනා තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නඟා ඇති බවත් ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එම පැමිණිල්ලේ සඳහන් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමඟ කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් කර නැති බවත් ඒ අනුව මේ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් පැමිණිලිකාර රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ මහතා විසින් පැමිණිල්ලේ සටහන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *