රාජ්‍යතාන්ත්‍රිකයන්ටත් ප්‍රහාර එල්ල කළ ඊශ්‍රායල පදිංචිකරුවෝ – ප්‍රංශ නගරාධිපතිවරයෙකුත් ප්‍රහාරයට ලක්වෙයි

ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේදී යුරෝපීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පලස්තීන සිවිල් වැසියන් සහ එරට සංචාරයක නිරතව සිටි ප්‍රංශ නගරාධිපතිවරයෙකුට ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් විසින් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම සිදුවීම ජාත්‍යන්තර නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලීම් ඉදිරිපත් වී ඇත.

ඔක්තෝබර් 17 වැනි සෙනසුරාදා පලස්තීනයේ ටයිබේ (Taybeh) ගම්මානයේදී මෙම ප්‍රහාරය සිදුව තිබේ. මුහුණු ආවරණය කරගත් පදිංචිකරුවන් පිරිසක් එහි සිටි කණ්ඩායමකට පහර දුන් බව බෙල්ජියමේ විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් ප්‍රෙවෝට් පැවසීය.

ප්‍රහාරයට ලක්වූ පිරිස අතර පලස්තීනයේ බෙල්ජියම් කොන්සල් ජනරාල්වරයා, ප්‍රංශ සහ පෝලන්ත රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම කතෝලික නියෝජිතයෝද සිටියහ.

ප්‍රදේශයේ පලස්තීන ජනතාවට සහාය පළ කරමින් ඔලිව් අස්වනු නෙළීමේ කටයුතුවලට එක්ව සිටි ප්‍රංශ නගරාධිපති බර්නාඩ් බෝඩූක්ස් ද ප්‍රහාරයට ලක්ව තිබේ. එම සිදුවීම අතරතුර බෙල්ජියම් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයට අයත් වාහනයකටද හානි සිදුව ඇත.

ප්‍රහාරය හෙළා දුටු බෙල්ජියම් විදේශ කටයුතු අමාත්‍යවරයා, පලස්තීන වැසියන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවද ඔහු අවධාරණය කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුත්තන්ට එරෙහිව යුරෝපා සංගමයේ සම්බාධක පැනවීම සඳහා බෙල්ජියම අඛණ්ඩව බලපෑම් කරන බවද ප්‍රෙවෝට් සඳහන් කළේය.

මේ අතර, සිද්ධිය හෙළා දුටු ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍ය ගිඩියොන් සාආර්, ප්‍රහාරය එල්ල කළ පිරිස ඊශ්‍රායලයේ කලහකාරී පිරිසක් ලෙස හැඳින්වීය. කෙසේ වෙතත්, මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාව සමඟ සම්බන්ධීකරණයක් සිදු කර නොතිබූ බවද ඔහු පැවසීය. එවැනි සම්බන්ධීකරණයක් සිදු කර තිබුණේ නම්, ඊට සහභාගි වූ පිරිස ආරක්ෂා කිරීමට එය උපකාරී වීමට ඉඩ තිබූ බවද ඔහු සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරයට පෙර දිනයේදීද බටහිර ඉවුරේ වෙනත් ප්‍රදේශයක ඔලිව් අස්වනු නෙළමින් සිටි පලස්තීන වැසියන්ට ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් පහර දී තිබිණි. එම සිදුවීම වාර්තා කරමින් සිටි වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදිනී හයිඩි ලෙවින් එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා තිබේ.

මෙම සිදුවීම් හමුවේ පලස්තීනයේ වාර්ෂික ඔලිව් අස්වනු නෙළීමේ සමය තුළ පදිංචිකරුවන්ගෙන් එල්ල වන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳ කනස්සල්ල යළිත් මතුව ඇත. ඔලිව් වගාව බොහෝ පලස්තීන ගොවි ප්‍රජාවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන බැවින්, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඔවුන්ගේ ජීවනෝපායටද දැඩි බලපෑමක් එල්ල කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *