රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – ජනාධිපති රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය ගැන මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ නෙළුම් පොකුණ රඟහලේ  පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (APLA), ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උපකාරක පන්ති ගුරුවරුන්ගේ එකතුවෙන් 2004 දී පිහිටුවා ගත් සංවිධානයකි.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ ආරම්භක සාමාජික හා ජ්‍යෙෂ්ඨ ආචාර්ය කේ. ආරියසිංහ මහතා වෙත ජ්‍යෙෂ්ඨ ගුරු සම්මානය පිරිනැමීම සහ සෙසු ආචාර්යවරුන් වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංගමයේ සභාපති රවීන්ද්‍ර බණ්ඩාර මහතා විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

අනතුරුව ජනාධිපතිවරයා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමබන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයන්ට පමණක් සීමා නොකර පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කරවා ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *