යෝජිත නගර 8ක ක්ෂේත්‍ර සංවර්ධන සැලසුම් ජනාධිපතිතුමා වෙත පිළිගන්වයි…

ප්‍රධාන නගර කිහිපයක නාගරික සංවර්ධන සැලසුම් 10 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමඟ එක්ව රජයේ මුලපිරීම්වලට අනුකූලව රටේ සංවර්ධන ඉලක්ක සැලසුම් කර ඇති අතර දේශීය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි පරිදි ප්‍රධාන නගර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍ය, තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල විශේෂ ආර්ථික කලාප (SEZ) සංවර්ධනය කෙරේ. හරිත නගර සංකල්පයට ප්‍රමුඛත්වය දෙමින් සියලු පහසුකම් සහිතව ආකර්ෂණීය ලෙස නිර්මාණය කර ඇත.

පුළුල් කරන ලද මාර්ග, වාහන නැවැත්වීමේ පහසුකම්, පදික වේදිකා, සාප්පු සංකීර්ණ, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන වීදි ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වේ.

එම සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී තෝරාගත් නගරවල පිහිටි ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය සහ පැරණි ගොඩනැගිලි මහජන ආකර්ෂණයට ලක්වන අයුරින් සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *