යුගදනවි ගිවිසුමේ සැඟවුණු කරුණු සභාගත කෙරේ

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීමට අදාළ මතභේදාත්මක ගිවිසුම අද ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, අමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුම් ගතවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණද ගිවිසුම්ගතවී ඇත්තේ ඊට අනුබද්ධ වෙනත් සමාගමක් සමග බවය.

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් අමෙරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමගමට පැවරීමට අදාළ ගිවිසුමට පසුගිය සැප්තැම්බර් 17 වනදා අත්සන් තැබූ බව රජය නිවේදනය කළේය.

අදාළ ගිවිසුම රජය හෙළි නොකිරීමත් සමග පාර්ශ්ව රැසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරුණු ඉල්ලා සිටියද මුදල් අමාත්‍යාංශය එය ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

අනතුරුව පාර්ශ්ව රැසක් ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එවන් පසුබිමක අද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

එම ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (a) වගන්තියේ දැක්වෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව එම ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතුය යන්නය.

13.3 වගන්තියට අනුව සඳහන් වන්නේ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම් එහි කොන්දේසි පිළිබඳව පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදනයක් නොකළ යුතුය යන්නය.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“මේ ගිවිසුම උසාවිය හරහා අපිට ලැබුණා. අපේ අතට පත්වෙච්ච ඒ ගිවිසුමේ තියෙන විදිහට රටේ තියෙන සියලුම බලාගාරවලට LNG සැපයීමේ ඒකාධිකාරය ඒ අයට ලැබෙනවා. පළමු අදියර සම්පූර්ණ වෙන්න ශ්‍රී ලංකා LNG ගෑස් යනුවෙන් ආයතනයක් හදන්න ඕනේ ඒ ගිවිසුමේ තියෙන විදිහට. ඒක රජය සතු සමාගමක්. ඒ සමාගමත් එක්ක නිව් ෆෝට්‍රස් සමාගම ගිවිසුමක් අත්සන් කරන්න ඕන. නිව් ෆෝට්‍රස් සමාගමට LNG සපයන්න දෙන බවට. ඒ ටික සම්පූර්ණ වුණාම තමයි අර අමෙරිකානු ඩොලර් මිලියන 250න් 187ක් ලැබෙන්නේ. දෙවැනි අදියරේ වැදගත්ම කාරණය තමයි ලංකාවේ සියලුම බලාගාරවලට LNG ලබාදීමේ ඒකාධිකාරය ලබාදිය යුතුයි. දෙවැනි අදියර සම්පූර්ණ වුණාම අමෙරිකානු ඩොලර් මිලියන 250ම ලැබෙනවා.දෙවැනි අදියර සම්පූර්ණ කරන්න බැරි වුණොත් මුලින් ලබාගත්ත අමෙරිකානු ඩොලර් මිලියන 187 නැවත ඒ අයට ලබාදෙන්න ඕන. ඒක දූෂිත ගණුදෙනුවක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *