මෛත්‍රීපාලට සහ දයාසිරිට අධිකරණය නොතීසි නිකුත් කරයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට කොළඹ දිසා අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

අද නොතීසි නිකුත් කරමින් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට 2022 ඔක්තෝබර් 19 වැනි දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ගොනු කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නොතීසි නිකුත් කෙරුණේ.

මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ඔවුන් දරන පක්ෂ ධූරවලින් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජුනි මාසයේදී නිවේදනය කළේය.

පක්ෂයේ ස්ථාවරයට පටහැනිව වත්මන් රජය යටතේ ඇතැම් පාක්ෂිකයින් අමාත්‍ය ධූර භාරගෙන ඇති බැවින් මෙම තීරණය ගත් බව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *