මෙරට වාහන එකලස් කිරීමේ සම්මත පටිපාටියට කැබිනට් අනුමැතිය

කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සැකසූ ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට්
අනුමැතිය හිමි වී තිබේ.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ වාහන ආනයනය නවතා ඇති මොහොතක එය මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් බවයි.

මෙරටට වාහන ගෙන්වීම නැවතීමෙන් පසු මෙරට වාහන ආනයනික සමාගම් තමන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් පලකළ බවත් ඒ අනුව මෙරට වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක අවශ්‍යතාව පෙන්වා දුන් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ වාහන එකලස් කිරීම ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ ‘දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය’ මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් ඇමැතිවරයා කියයි.

මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයනය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයනික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමඟින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් ඔහු සඳහන් කරයි. මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *