මෙරට ආනයන වියදම් ඉහළ ට

2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 19.7%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෝටර් රථ ආනයනය කිරීම සැලකියයුතු ලෙස අඩුවීම මධ්‍යයයේ වුවද ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉහළ යාම ඊට හේතුවී ඇති බවය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතිවූ ආර්ථික අර්බුදමය වාතාවරණය මධ්‍යයයේ රුපියල අවප්‍රමාණය වීම වළක්වාගැනීම සඳහා මෝටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය නතර කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේ 2020 වසරේ මාර්තු මාසයේදීය.

අනතුරුව විදේශ මුදල් සංවිත රට තුළ පවත්වාගැනීමේ අරමුණින් එම තීරණය දීර්ඝ කෙරුණු අතර මේ දක්වා රථ වාහන ආනයනය කිරීමට යළි අවසර ලබාදීම පිළිබඳ රජය තීරණයක් ගෙන නොමැත.

ඒ අනුව මෝටර් රථ ආනයනය සැලකියයුතු ලෙස අඩුවීම මධ්‍යයේ වුවත් ආහාර සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේ ඉහළ ගොස් තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව 2020 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 255.5කි.

නමුත් 2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 305.8 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම වැඩිවීමේ ප්‍රතිශතය 19.7% කි.

ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ ඖෂධ, එන්නත්, ජංගම දුරකථන, යටඇඳුම්, රූපවාහිනී, ශීතකරණ යන අංශවල ආනයන වියදම ප්‍රධාන වශයෙන් ඉහළ ගොස් ඇති බව එම වාර්තා අනාවරණ කරයි.

2020 වසරේ නොවැම්බර් මස එම කාණ්ඩයේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 130.9ක් වෙද්දී 2021 වසරේ නොවැම්බර් එම ආනයන වියදම සඳහන් වන්නේ ඩොලර් මිලියන 169.9ක් ලෙසිනි.

එහි වැඩිවීම 29.8%ක අගයක දැක්වෙයි.

ඊට අමතරව සමස්ත ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ 27.5% කින් ඉහළ ගොස් ඇතැයිද එහි සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *