මෙරටට පැමිණෙන විදෙස්ගත ලාංකිකයින්ගේ නිරෝධායන කාලසීමාව දින 10 දක්වා අඩු කෙරේ

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින්ට අදාළ දින 14ක නිරෝධායන කාල සීමාව දින 10ක් දක්වා අඩුකිරීමට කොවිඩ් මර්දනය පිළිබඳ තාක්ෂණික කමිටුවේ අවධානය යොමුවී තිබේ. එමෙන්ම දින කිහිපයකට විදේශගත වන පුද්ගලයන් රජය අනුමත කර ඇති කොවිඩ් එන්නත් ලබාගෙන ඇත්නම් යළිත් පැමිණි විට නිරෝධායනය නොකළ යුතු බවටද, යුද හමුදාපතිවරයා එම කමිටුවේ අවධානයට යොමුකර ඇත. ඒ අනුව ඊට අදාළ අවසන් තීරණයන් අද පැවැත්වෙන එම කමිටු රැස්වීමේදී තීරණය කරන බවටයි තොරතුරු වාර්තාවන්නේ.

අදාළ රටේ සිට මෙරටට පැමිණීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් හෝ දින දෙකකට පෙර සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදනය වී නැති බවට තහවරු වන පුද්ගලයන්හට මෙම මෙම නිරෝධායන කාලය හිමිවේ. ඔවුන් මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක දින 05ත් 06ත් අතර කාලසීමාවේදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂාවෙන් කොවිඩ් අසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් ඉතිරි දින 03 සිය නිවසට ගොස් නිරෝධායනය වීමට අවසර ලැබේ.

මේ අතර දින 04කට නොවැඩි (96) කෙටි කාලයකට විදේශගතව පැමිණෙන පුද්ගලයන්ට සිය නිවසේ දින 07ක කාලයක් නිරෝධායනය වීමට අවසර දී තිබේ. ඊට අවශ්‍ය අනුමැතිය ඔවුන් විදේශගත වීමට සති 02කට පෙර සියලූ තොරතුරු සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගත යුතුය. ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා (13) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරනු ලැබීය. එම ගැසට් නිවේදනයට අනුව අදාළ රටේ සිට යළි මෙරටට පැමිණීමට පෙර හෝ පැමිණීමට දින 02කට පෙර සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදනය වී නැති බවට තහවුරු වී තිබිය යුතුය. එවිට ඔවුන්ට සිය නිවසේ සිට දින 07 ක් නිරෝධායනය විය හැකිය. එහිදී නිරෝධායනය වන දින 05ත් 07ත් අතර යළි සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදනය වී නැති බවට තහවුරු වුවහොත් දින 07ක නිරෝධායන කාලය අවසන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *