මූලධර්මවාදීන්ගේ ක්‍රියාවන් ගැන අවධානයෙන් සිටින්න – බෞද්ධ උපදේශක සභාව ජනපතිගෙන් ඉල්ලයි

සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තරදීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ එම සභාව 08 වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කෙරුණා.

ආණ්ඩුවට එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවී ඉතිරි ධූර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙසට මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

එමෙන්ම මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපයද බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබේ. මින් පෙර ඔවුන්ගේ ග්‍රහණයට හසු කරගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාව බවත්, මේ වන විට ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බවයි මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දී ඇත්තේ.

මෙම තත්වය මත කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරියක් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිස් බලහත්කාරයෙන් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්‍රයත්නයක් සිදුව ඇති බවත් එහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කර ඇති අතර, ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත මෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.

මෙම හමුවීමට බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *