මින් ඉදිරියට කටවුට් එපා -ජනපති

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වලට සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

එසේම සෑම පෝස්ටරයකම තම තමන්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලන නායකයින්ගෙන්ද ඉල්ලා සිටියේය.

අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම මිස සටන් පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන් පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමු බව ද සඳහන් කළේය.

එසේම තමා සැමදා සටන් පාඨ සහ කටවුට් දේශපාලනයට විරුද්ධ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් දේශපාලන ගමනක් වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව චෙංකලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට ඊයේ (08) පෙරවරුවේ එක්වෙමිනි.

මඩකලපුවේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා මඩකලපුව චෙංකලඩි මධ්‍ය මහා විද්‍යාලය අසල ප්‍රදර්ශනය කර තිබූ විශාල කටවුට් එක ඊයේ රාත්‍රියේ දුටු අවස්ථාවේම එය ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්ව දැනුවත් කර තිබේ.

වැඩි දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු. සටන්පාඨ දේශපාලනයයි කටවුට් දේශපාලනයයි අපිව මෙහෙට ගෙනාවා. අන්තිමට ආර්ථිකය කට් වුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතින් හිතමු. මම අනිත් දේශපාලන නායකයින්ටත් කියනවා. තමන්ගේ පින්තූරය හැම පෝස්ටරයකම දාන එක උවමනා නෑ කියලා. මිනිස්සු අපි රූපවාහිනියේ එනවා දැකලා බැන බැන ඉන්නවා. පෝස්ටර්වල දාලා අලවලා ඒ අයට තව එකපාරක් දෙන්නේ අපිට බනින්න…” 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *