මහජන ප්‍රවාහන සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් සම්පූර්ණ පහසුකම් සහිත තවත් ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත භාරදී තිබේ.
PZA – 0040 අංකය දරන මෙම බස් රථය සෞඛ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාරදී ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනේ කොටසක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මධ්‍යකාලීන උපායමාර්ගික සැලැස්ම යටතේ එය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
මහජන ප්‍රවාහන සේවයේ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ සහායකයන් රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම ජංගම පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මේ වනවිට පළාත් පහක් ආවරණය කරමින් වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සම්පත් ක්‍රමයෙන් වැඩිදියුණු කිරීමත් සමඟ අනෙකුත් පළාත් වෙතද එය ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සැලසුම් කර තිබේ.
ජාතික අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන යටතේ මේ වනවිට පරීක්ෂණ 7,150ක් සිදුකර ඇති බව බලධාරීහු සඳහන් කළහ.
මාර්ග අනතුරු අවම කරමින් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා අමාත්‍යාංශ අතර සහයෝගීතාවයෙන් කෙටි, මධ්‍යම හා දිගුකාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතින බවද ඔවුහු පැවසූහ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, අතිරේක ලේකම්වරුන් වන ජානක කිත්සිරි ගුණවර්ධන, වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සහ හර්ෂණී සිරිනාම මහත්ම මහත්මීන්, ප්‍රවාහන අධ්‍යක්ෂ මුදිත විමලසේන මහතා, කාත්තන්කුඩි රෝහලේ වෛද්‍ය නිලධාරී එම්.එස්.එම්. ජබීල් මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


