භාණ්ඩ සඳහා තවදුරටත් ආනයන සීමා පැනවීමට නියමිතය

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය සඳහා තවදුරටත් සීමා පැනවීමට සිදුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (13) සවස පැවති කැබිනට් රැස්වීමට දැනුම් දී තිබේ.

ඒ අනුව ඉන්ධන, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් අනාවරණය කළ බව ලංකාදීපයට වාර්තා වේ.

ඩොලර් අර්බුදය සමනය කර ගැනීම සඳහා ඉන්දියාව, ජපානය, චීනය, ඇතුළු රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා එම රටවලින් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර ඇත.

පසුගියදා තම සංචාරයේදී ඉන්දීය රජය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව පැවසූ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ ද මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විදේශගතව සිටින බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් මෙම හමුවේදී දැඩි සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.

ඩොලර් අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුල්‍ය ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇති අතර තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අවධාරණය කර තිබුණේ මුල්‍ය ආයතනය සමඟ ගිවිසුමක් ඇති කර ගතහොත් ශ්‍රී ලංකාවට කොන්දේසි කිහිපයකට එකඟ වීමට සිදුවන බවයි.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විවිධ අදහස් පළවුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *