බෝරා ප්‍රජාවේ නායකයා ජනපති හමුවෙයි

Bohra ප්‍රජාවේ නායක අති උතුම් ආචාර්ය Syedna Mufaddal Saifuddin Saheb මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (11) පෙරවරුවේ මිරිහානේ පිහිටි ජනාධිපති පෞද්ගලික නිවසේ දී සිදු විය.

බෝරා ප්‍රජාවේ මිලියනයකට ආසන්න සාමාජිකයින් ඉන්දියාව, පකිස්ථානය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක ජීවත් වෙති.

තමන් ආදරය කරන රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම ගැන තමන් සතුටු වන බව පැවසූ ශුද්ධෝත්තම සයිෆුදීන් පියතුමා තම අනුගාමිකයින් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට දිගටම කටයුතු කරන බව පැවසීය.

රජයේ Covid-19 පාලන වැඩසටහන අගය කළ ඔහු ශ්‍රී ලංකාවේ සංවර්ධනය දෙස බලා සිටින බව පැවසීය. ‘ඉටුකම’ කොවිඩ් 19 අරමුදලට ලබාදුන් දායකත්වය වෙනුවෙන් බෝරා ප්‍රජා නායකයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ආයෝජන සහ වෙළෙඳාම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බෝරා ප්‍රජාව ලබාදුන් දායකත්වය අගය කළේය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු බෝරා ප්‍රජාවේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයින් රැසක් ද මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *