බියකරු ඔමික්‍රෝන් ගැන වෛද්‍ය ජීවන්දරගෙන් අනතුරු ඇඟවීමක්

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වෛරස නවතම ප්‍රභේදයේ “ස්” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ හේතුවෙන් ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළයුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ බූස්ටර් එන්නත ලබාගැනීම ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවය.

දැනට රජයේ මගින් සිදුකරගෙන යන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් ඔහු ප්‍රකාශ කරයි.

එම වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමේ හැකියාවක් මේ ඔමික්‍රෝන් ප්‍රභේදයට හැකියි කියලා අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. මේකට බිය වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රෝන් රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කරන්න. ඕනම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නතෙන් අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒ තුළින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැතිවෙයි. නමුත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩිපුර දුන්නේ සයිනොෆාම් එන්නත. අපි දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස 3 යනකොට අඩුවෙනවා. එවැනි අවස්ථාවක බූස්ටර් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ එතන. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නෙමෙයි.”

“ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. ඒකෙ අනු ප්‍රභේද 2ක් අපි දැක්කා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ක්ම පැතිරීම ට බලපාන විකෘතිතා. මේක සැලකියයුතු තත්ත්වයක්. එන්නත්වල ප්‍රතිශක්තිය මහහැරයෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රෝන් වැලඳිලා තියෙනවා. මේකෙ හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. ඵ්Cර්‍ එකකින් පවා මේක හඳුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක හොඳ දෙයක්.”

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වෛරස නවතම ප්‍රභේදය වෛරස වර්ග කිරීම් අනුව 5වන වෛරස් ප්‍රභේද වෙයි.

මීට පෙර ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා නමින් වෛරස් ප්‍රභේද හඳුනාගෙන තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම නම් කිරීම් සිදුකළේය.

ඔමික්‍රෝන් මේ වනවිට හොංකොං සහ බෙල්ජියම යන රටවල ද හඳුනාගෙන තිබේ.

වෛරස් ප්‍රභේද විදෙස් විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමේ වේගය 500% ක් බවය.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 50ක් පමණ පවතින අතර, ඉන් ස්පයික් ප්‍රෝටීනවල පමණක් විකෘතිතා 32ක් පෙන්නුම් කරන බවය.

එමෙන්ම විදෙස් වාර්තා අනුව ස්පයික් ප්‍රෝටීන්වල පවතින විකෘතිතා මගින් එන්නත්වල ඵලදායිතාව සියයට 40 කින් පමණ අඩු කරනු ඇති බව ද මූලික අධ්‍යයනවලින් අනාවරණ වී තිබේ.

නිදසුනක් ලෙස H655‍ය්, ණ්679ඛ් සහ ඵ්681H විකෘති ත්‍රිත්වය මගින් වෛරසය පහසුවෙන්ම සිරුර තුළට ඇතුළුවීමේ හැකියාව ලැබෙන අතර එහි අවසාන විකෘති දෙක එකට තිබීමත් වෛරසයේ දුර්ලභ අවස්ථාවක් බව සඳහන්ය.

ඔමික්‍රෝන් ප්‍රභේදයට එන්නත්වලට වඩා ප්‍රතිරෝධී බව පෙන්නුම් කරන්නේ මෙම වෙනස්වීම් හරහාය.

අප්‍රිකානු මහද්වීපයේ සමස්ත ජනගහනයෙන් දැනට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 10.66%කි.

එන්නත්කරණය එවැනි ප්‍රතිශතයකට සීමාවීම මෙවැනි විකෘති ප්‍රභේද බිහිවිය හැකි බවට විශේෂඥයින් සැක පළකරයි.

මේ අතර අවසන් දින 14 ක කාලය තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසොතෝ හා එස්වාටිනි යන රටවල සංචාරය කළ පුද්ගලයින්ට ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් එම රටවල් හරහා පැමිණෙන සියලුම පුද්ගලයින්ට ද මෙම තහනම බලපැවැත්වෙයි.

දැනටමත් ආසන්න දින කිහිපය තුළ එම රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් සිටී නම් කොවිඩ් පරීක්ෂණයට ලක්ව දින 14ක අනිවාර්ය නිරෝධායනයට යොමුවිය යුතු බව ද අදාළ මාර්ගෝපදේශවල සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *