බදියුදීන්ගේ නිවසට දැරිය රැගෙනගිය පුද්ගලයා සොයා විමර්ශන

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයකළ 16 හැවිරිදි දැරිය මියයාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර තිබේ.

මේ අතර, තම දියණියගේ මරණය පිළිබඳ පරීක්ෂණ වෙනත් අතකට යොමුවි ඇතැයි ඇගේ මව අද මාධ්‍ය වෙත පැවසීය.

පැය 10කට ආසන්න කාලයක් පොලිසියට ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව ඇය එසේ පවසා තිබුණි.

එම දැරිය මියයාම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති අතර ඒ අතරට කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් අයත් වේ.

මිය ගිය දැරිය හැටන් ඩයගම ප්‍රදේශයට පදිංචියට යෑමට පෙර පදිංචිව සිටි අවිස්සාවෙල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයට ඊයේ දිනයේදි එම විමර්ශන නිලධාරීන් ගොස් තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ දැරිය ඉගෙනුම ලැබු කිරිවන්දල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන්, නියෝජ්‍ය විදුහල්පතිවරයාගෙන් හා තවත් දෙදෙනෙකුගෙන් එහිදි විමර්ශන නිලධාරින් ප්‍රකාශ සටහන්කර ගත් බවය.

මෙම විමර්ශන නිලධාරීන් අද හැටන් ඩයගම ප්‍රදේශයට ගොස් පෙරවරු 7.30 සිට පැය 10කට ආසන්න කාලයක් දැරියගේ මවගෙන්, පියාගෙන්, සහ සහෝදරයාගෙන් නැවත ප්‍රකාශ සටහන්කර ගත් බව අප වාර්තාකරු පැවසීය.

එමෙන්ම දැරියව බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසට රැගෙන ගොස් තිබූ තැරැව්කරුගෙන්ද පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ ලබාගෙන තිබුණි.

ඒ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ තවත් සේවකයෙකුගේ ජංගම දුරකථනයක් බොරැල්ල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළේය.

ඒ අතරට බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, මහජන යුතුකම් කේන්ද්‍රය, අනාගතයට අපි තරුණ ව්‍යාපාරය, දේශප්‍රේමි ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක් ඇතුළත් විය.

ඒ අතර එම දැරිය මියයාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරික්ෂණ විධිමත්කරන ලෙස බලකරමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද හැටන් නගරයේදී  උද්ඝෝෂණයක නිරත වුණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ දැරියක් සියදිවි හානිකර ගැනීම පිළිබඳ මාධ්‍ය තුළ විවිධ මතවාද පළවන බවත් මෙම සිදුවීම දේශපාලනීකරණය කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බවත්ය.

ජාතිවාදි මුහුණුවරකින් මෙම ඛේදනීය සිදුවිම භාවිතා කිරිමටද තවත් අය උත්සාහ දරන බවත් එම දෙපාර්ශ්වයේම අරමුණු තරයේ හෙළාදකින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *