පෞද්ගලික අංශයේ සේවකයන්ට, වතු කම්කරුවන්ට අවම මාසික වැටුප ඉහළට…

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ අවම මාසික වැටුප වැඩි කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප ජීවන වියදමට සරිලන පරිදි වැඩි කරන බවත් ඒ සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සහතික විය.

“නව ආයෝජකයන්ට ආරාධනා කරමින් ලෝකයට ගැළපෙන නව කර්මාන්ත ප්‍රමාණය වැඩිකර වැඩි රැකියා උත්පාදනය කළ යුතුයි.ඒ නිසා රැකියා වල ගුණාත්මක බව ඉහළ නැංවීමට සැලැස්මක් සකස් කිරීමට නීති රීති වෙනස් කළ යුතුයි.

“කාන්තාවන් සහ පිරිමින් වෙනස් කොට සලකන නීති සංශෝධනය විය යුතු අතර ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවය ආරක්ෂා කළ යුතුයි. නව ලෝකය ගොඩනැගීම සඳහා කම්කරුවන්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දීමටත් අපට සිදුවනු ඇත,” අමාත්‍යවරයා පැවසීය.

මේ දිනවල කම්කරුවන් තම ජීවිතය කරගෙන යාම අතිශයින් දුෂ්කර වී ඇති බව කවුරුත් දන්නා බවත් එය කිසිදු සැකයකින් තොරව සත්‍යයක් බවත් ඔහු පැවසීය. “කෑම මිල සාමාන්‍ය මිනිහෙකුට දරාගන්න බැරි තරමට ගිහින්. තෙල් හොයාගන්න හරිම අමාරුයි. ඒ නිසා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප වැඩි කරන්න අපි සාකච්ඡා කරනවා,” අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේදී පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ස්ථාවර අවම වැටුපක් ලබාදීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත් ඔවුන් සතුටු කිරීම සඳහා දැනට පවතින අවම වැටුප යහපත් මුදලකට වැඩි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

“වතු කම්කරුවන්ගේ අවම වැටුප වැඩි කරන ලෙස ඉල්ලීම් කිහිපයක්ම කර තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ වැටුප් වැඩි කරන ආකාරය ගැන අපි සාකච්ඡා කළ යුතුයි. ඒ සඳහා අමාත්‍යාංශය කැප වෙනවා. ඔවුන් ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා,” අමාත්‍ය නානායක්කාර වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *