පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගරසභා සභාපති ඇතුළු පිරිසට ඇප

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර සහ ඔහුගේ සහෝදරයා හලාවත පොලීසිය මඟින් අත්අඩංගුවට ගන්නේ ඊයේ රාත්‍රියේදීය.

ඒ හලාවත, සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදි ආරවුලක් දුරදිගයාමෙන් සභාපතිවරයා යතුරුපැදිකරුවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමිනි.

පහරකෑමට ලක්වූ බව කියන තරුණයින් දෙදෙනා හලාවත මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේවෙතත්, එම සිදුවීමට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේ, හලාවත නගර සභාවේ සභාපතිවරයා තරුණයින් පිරිසකට පහරදී පළා යන බවට ලද තොරතුරක් මත ඔහු පසුපස ගොස් හලාවත නගරයේ දී ඔහුගේ වාහනය වටකර පොලීසිය දැනුවත් කර ඔවුන් පොලීසියට භාරදීමට තමන් කටයුතු කළ බවය.

එම සිදුවීම නගර සභාවේ සභාපතිවරයා ගමන්ගත් වාහනයේ සිටි පුද්ගලයෙකු පටිගත කර තිබුණි.

කෙසේවෙතත්, අයුතු ජන රාශිය, ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් මාලයක් කඩා ගැනීම හා පහර දීම ඇතුළු චෝදනා කිහිපයකට හලාවත පොලීසිය අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතා ඇතුළු පස්දෙනෙකු එක් අයෙකු ට ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකකට යටත්ව මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *