’’පැන්ෂන්’’ කපන පනතට විරෝධය පා පෙත්සම් හතරක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති තවත් පෙත්සමක්  පිටපතක් තමාට ලැබී ඇති බව   කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අනුව එම පනත් කෙටුම්පතට එරෙහිව මේ දක්වා ලැබී ඇති මුළු පෙත්සම් ගණන හතරකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ආචාර්ය හර්ෂණ නානායක්කාර මහතා විසින්  පාර්ලිමේන්තුවට පසුගිය  7 වැනිදා  ඉදිරිපත් කෙරිණ.පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට එදින සිට දින  14ක කාලයක් ලැබී ඇත.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස අග පැවැත්වීමට නියමිතය. පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසි වී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *