පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේගේ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

තමන් පක්ෂයෙන් නෙරපා දැමීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන්නා.

එම විරෝධතා දෙසැම්බර් 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

පෙත්සම දෙසැම්බර් 13 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

පෙත්සම්කරු විසින් වගඋත්තරකරුවන් ලෙස SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු ලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී. පුංචිහේවා සහ එහි සාමාජිකයින් සහ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.

තමා අපේ ජාතික පෙරමුණේ ලේකම්වරිය ලෙස කටයුතු කළ බවත් පසුව එම පක්ෂය සමගි ජන බලවේගය ලෙස නම් කළ බවත් පෙත්සම්කාරිය පවසයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අවලංගු කිරීමට වගඋත්තරකරුවන් උත්සාහ කර ඇති බව පෙත්සම්කරු පවසයි.

තමන් නෙරපා හැරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් පැවැත්වීමට වගඋත්තරකරුවන් ඉඩ නොදුන් බවත්, මෙය ස්වභාවික යුක්තිය පිළිබඳ නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කාරිය චෝදනා කරයි.

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට SJB ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *