පාර්ලිමේන්තුව වෙත ඉන්දියාවෙන් සූර්ය විදුලි බලාගාරයක්

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ,  දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත එම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තය.

මේ වනවිට එහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදුකෙරෙමින් පවතින බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබඳව පාර්ලිමේන්තුවෙන්  සමස්ත රටට ම පූර්වාදර්ශයක් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විදුලිබල අමාත්‍යාංශය,  සූර්ය, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, මහවැලි අධිකාරිය, සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සාමූහිකත්වය තුළින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම නවමු ව්‍යාපෘති සංකල්පයේ දෙවන අධියර වෙනුවෙන් මහවැලි අධිකාරිය විසින් මේ වනවිට ජලාශයන් කිහිපයක් නම්කර  තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින්  අදාළ ජලාශයන් කේන්ද්‍ර කරගනිමින් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමට නියමිත අතර මෙහිදී උපරිම ධාරිතාවක් ලබාගත හැකි ජලාශයන් තෝරා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාකරන බවත් අවම ධාරිතාවය මෙගාවොට් 100 ක් වියයුතු බවටත් වනවිට  යෝජනා වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *