ප්‍රීමා සහ සෙරෙන්ඩිබ් සමාගම් වලට නඩු පවරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2022.06.29 වන දින නිකුත් කරන ලද අංක 2286/26 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යම් භාණ්ඩයක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල ඇතුලු තොරතුරු සඳහන් විය යුතුය.

නමුත් මෙරට තිරිඟු පිටි අලෙවි කරනු ලබන ප්‍රධාන සමාගම් වන ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි ඇසුරුම් වල, උපරිම සිල්ලර මිලක් සඳහන් කර නොමැත. ඒ තුළින් මේ දිනවල පවතින තිරිඟු පිටි ප්‍රශ්නයත් සමග විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි ඇසුරුම් අලෙවි කිරීම මෙන්ම වෙළඳුන් විසින් අසාධාරණ ලාභ ඉපයීමට ද එය හේතු වන බව වාර්තා වේ.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි වැටලීම් ඒකකය විසින් විමර්ශනයක් සිදුකොට තිරිඟු පිටි ඇසුරුම් වල මිල සඳහන් නොවීම සම්බන්ධව, ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමට සහ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් පුද්ගලික සමාගමට එරෙහිව නුගේගොඩ සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වල සැප්තැම්බර් මස 12, 13 දිනවල නඩු පවරා ඇත.

උක්ත විමර්ශන කටයුතු කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ. රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් සිදුකොට ඇති අතර ඉදිරියේ දී වෙළඳපලට නිකුත් කරනු ලබන තිරිඟු පිටි ඇසුරුම් වල, අදාළ සමාගම් විසින් මිල ලකුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ නොවුණහොත් අඛණ්ඩව අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදු කරන බව අවධාරණය කළ බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.

එසේම උක්ත ගැසට් නිවේදනය උල්ලංඝනය කිරීම සම්බන්දව දිවයිනේ ප්‍රධාන ප්‍රසිද්ධ මහා පරිමාණ සමාගම් දෙකකට එරෙහිව මෙලෙස නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති අතර, ඉදිරියේදී වෙළඳපොලේ විවිධ භාණ්ඩ සම්බන්ධව මෙම ගැසට් නිවේදනය යටතේ විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *