නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිටවීමට උත්සාහ කළ තවත් 51 දෙනෙකු අත්අඩංගුවට…

නීතිවිරෝධී ලෙස දිවයිනෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 51 දෙනෙකු නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2022 ජූලි 03) උදෑසන නැගෙනහිර මුහුදේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 51 දෙනෙකු රැගත් දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධී සංක්‍රමණ සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණින් නාවික හමුදාව දිවයින වටා මුහුදු සහ වෙරළබඩ ප්‍රදේශ ආවරණය කරමින් නිරන්තර මෙහෙයුම් සිදු කරයි. අද පෙරවරුවේ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස දිවයිනෙන් සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන මෙම පිරිස රැගත් සැක කටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නැගෙනහිර නාවික විධානය සමත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙකු සහ ළමුන් 05 දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ද වනවා. සැකකරුවන් සමඟ මෙම නීතිවිරෝධී ක්‍රියාව සඳහා යොදාගත් ධීවර යාත්‍රාව ද නාවික හමුදාව සතුව තිබී ඇත.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05 සිට 56 දක්වා වූ සැකකරුවන්ය. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය වෙත භාරදීමට නියමිතයි.

මේ අතර, නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව 2022 ජූලි 02 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කරන ලද සම්බන්ධීකරණ මෙහෙයුමකින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් යැයි සැක කරන පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. දිවයිනේ සිට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වීමට බලා සිටි ඔවුන් ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස පිරිමින් 08 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ ළමුන් 10 දෙනෙකුගෙන් සමන්විත විය. තවද මෙම පිරිසට නවාතැන් සැපයූ ලැගුම්හල් හිමියාද ​​වැටලීම් පාර්ශවය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මාස 03 සිට අවුරුදු 50 දක්වා වූ පුද්ගලයින් මඩකලපුව, වාලච්චේන සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මාරවිල පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

වේගයෙන් මුදල් ඉපයීමේ අරමුණින් ජාවාරම්කරුවන් අහිංසකයන් රවටා අනාරක්ෂිත යාත්‍රා යොදා ගනිමින් මෙවැනි සදාචාර විරෝධී ව්‍යාපාර සංවිධානය කරති. ඒ නිසා අවදානම් මුහුදු ගමන්වල නිරත වෙමින් ජීවිත අවදානමට ලක් කිරීමෙන් වළකින ලෙසත්, නීතිය ඉදිරියේ ගොදුරු බවට පත්වන ලෙසත් නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *