නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු අත්අඩංගුවට…

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 ජුනි 11 වන දින දිවයිනේ ගිනිකොනදිග මුහුදේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 38 දෙනෙකු සමඟ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

2022 ජුනි මස 11 වන දින පස්වරුවේ අම්පාර, ඔකන්ද මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමේදී, දිවයිනේ සිට ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 38 දෙනෙකු රැගත් සැක කටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 06 දෙනෙකු, කාන්තාවන් 05 දෙනෙකු සහ ළමුන් 07 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ද වන බව සඳහන්. සැකකරුවන් සමඟ මෙම නීතිවිරෝධී ක්‍රියාව සඳහා යොදාගත් ධීවර යාත්‍රාව ද නාවික හමුදාව සතුව තිබී ඇත. බහුදින යාත්‍රාවේ එන්ජිමේ යාන්ත්‍රික දෝෂයක් හටගෙන ඇති අතර යාත්‍රාව දිගු ගමනක් යාමට නුසුදුසු බව වැඩිදුර පරීක්‍ෂණවලදී අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, වවුනියාව, වාලච්චේන, හලාවත, කල්පිටිය, උඩප්පුව, ජා-ඇල සහ මීගමුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 02 ත් 60 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පානම පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නීතිවිරෝධී සහ අනතුරුදායක මුහුදු ගමන්වල නිරත අහිංසකයින් දිවයිනෙන් සංක්‍රමණය වීමට පොළඹවන ජාවාරම්කරුවන්ගේ උගුලට හසුවී නීතිය ඉදිරියේ වරදකරුවන් වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඕස්ට්‍රේලියානු රජය එවැනි නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට සහය නොදක්වන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන වහාම පිටුවහල් කරනු ලැබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලාංකිකයින් 12 දෙනෙකු සහ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් පිළිවෙළින් මැයි 24 සහ ජූනි 09 යන දිනවල ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ කිරීමෙන් පසු නැවත ගෙන්වා ගන්නා ලදී. එවැනි නීතිවිරෝධී සංක්‍රමණිකයන් නැවත මෙරටට ගෙන්වා ගත් පසු ඔස්ට්‍රේලියාවට වලංගු වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසුකම් නොලබයි.

නටබුන් සහිත ධීවර යාත්‍රා එවැනි ගමන් සඳහා යොදා ගන්නා බව දිගින් දිගටම නිරීක්ෂණය වී ඇති අතර ඒවා කිසිසේත්ම මුහුදට සුදුසු ඒවා නොවේ. එබැවින් මෙම යාත්‍රා මගින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීම ජීවිතවලට දැඩි අවදානමක් ඇති විය හැකි බවට නාවික හමුදාව මහජනතාවට අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *