නැගෙනහිර පර්යන්තය ගැන වරාය ඇමති ප‍්‍රකාශයක් සිදු කරයි…

ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු 100%ක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා දීමක් සිදු නොවන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා හා වරාය අධිකාරියේ නිලධාරීන් ඉදිවෙමින් පවතින ECT පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින්, මෙලෙස ප්‍රකාශ කළේ ය.

ඉදිවෙමින් පවතින මෙම පර්යන්තය පෞද්ගලික අංශයට දීමට තැත් කරන බවට පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් සමහර වෘත්තීය සමිති හා පුද්ගලයින් විසින් වගකීම් විරහිත ප්‍රකාශ කළද, වරාය සතු මෙම ආර්ථික වශයෙන් වටිනා මූලෝපායික සම්පත්, පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු, මූල්‍ය සම්පත් වලින් ඉලක්කගත පරිදි 2024 වර්ෂය වන විට ඉදිකර අවසන් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන්ම, කිසිදු හේතුවක් නිසා ඉදිකිරීම් පමා කිරිමට අදහසක් නොමැති අතර, මෙම පර්යන්තයේ ඉදිකිරීම් තුළින් දැනට මෙහෙයවන නෞකා ප්‍රමාණයට වඩා වැඩි විශාල නෞකා ප්‍රමාණයක් මෙහෙයවීමට හැකිවීම නිසා කොළඹ වරායේ බහලු මෙහෙයුම් හී වර්ධනයක් ඇතිවීමත් වඩාත් කාර්යක්ෂම වරායක් ලෙසින් ජාතික ආර්ථීකයට දැනට දක්වන දායකත්වයට වඩා වැඩි දායකත්වයක් සැපයීමට හැකි වන බවත් මෙහිදී තොරතුරු හෙළිදරව් විය.

නැගෙනහිර පර්යන්තය පුද්ගලික අංශයට විකිණීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවට සමහර වෘත්තිය සමිති තමන්ගේ පටුදේශපාලන වාසිතකා ප්‍රකාශ කළද වරාය වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවලදී නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතුව තබාගන්නා බවට තමන් සෘජුව ප්‍රකාශ කළ පසුත් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ සමහර වෘත්තීය සමිති දිගින් දිගටම මෙම සාවද්‍ය මතය සමාජගත කිරීම කණගාටුවට හේතුවක් බව අමාත්‍යවරයා පැවසීය.

දැනට ඉදිකොට ඇති පර්යන්තය සම්පූර්ණයෙන් ඉදිවූ පසු මීටර් 1200 කින් යුක්ත වීමට නියමිතය. එහි පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18 කි.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, අමාත්‍යතුමාගේ උපදේශක ඒ.ඩී.එස්. ඉන්ද්‍රසේකර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලවත්තගේ යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීහු සහභාගී වූ හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *