නවීකරණය කරන ලද ලංගම බස්රථ 200ක් නැවත ධාවනයට

අබලන්වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත්ව තිබූ බස් රථ 200ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහනයට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 22 පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

වාහන නියාමන, බස් ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

වාහන ආනයනය සීමා කිරීමත් සමඟ බස්රථ ආනයනය ද අත්හිටුවා ඇත. ඒ නිසා විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් බස් හිඟයට පිළියමක් ලෙස අබලන් බස් රථ අලුත්වැඩියා කිරීමට පියවර ගත්තා. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2020 දෙසැම්බර් මාසයේදී බස් රථ 273ක් අලුත්වැඩියා කර බස් රථ ඇණියට එක් කරන ලදී.

දෙවන අදියර යටතේ දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් වූ බස් රථ 200ක් අලුත්වැඩියා කිරීමට රු. මිලියන 136 කි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඩිපෝ සහ ලක්දිව ඉංජිනේරු සමාගම මගින් ශ්‍රී ලංකා පොදු ප්‍රවාහන සේවක සංගමයේ පුළුල් සහයෝගය ඇතිව සිදු කෙරේ.

බස් රථවල ප්‍රමිතීන් සොයා බැලූ ජනාධිපතිතුමා ලංගම සේවකයින් සමඟ කතාබහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *