දිවයින පුරා පාසල් නැවත විවෘත කරන පළමු දිනයේ සිසුන් පැමිණීම 45%

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ සඳුදා (ඔක් 25) දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කරන විට විදුහල්පතිවරුන්ගෙන් 97% ක් සහ ගුරුවරුන් 89% ක් සේවයට වාර්තා කර තිබූ අතර සිසුන්ගේ පැමිණීම 45% ක් පමණක් වූ බවයි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව දින 106ක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර ඊයේ දිනයේදී පාසල්වල සේවයට වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ඉදිරියේදී පැමිණෙන සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිලධාරියා පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් ක්‍රමානුකූලව විවෘත කිරීමට රජය පසුගියදා තීරණය කළා. පළමු අදියර යටතේ සිසුන් 200 ට අඩු පාසල් බ්‍රහස්පතින්දා (ඔක් 21) විවෘත කරන ලදී. දෙවන අදියර යටතේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ ඊයේ විවෘත කෙරුණු අතර පාසල් 9155ක් විවෘත කෙරුණා.

දරුවන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම, අත් සේදීම ඇතුළු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් කටයුතු ආරම්භ විය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දෙමාපියන් වගකීමෙන් කටයුතු කරන්නේ නම් පාසල් විවෘත කිරීම වඩාත් කාර්යක්ෂම කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය.

මේ අතර සියලුම පාසල්වල අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම නිලධාරියා පැවසීය. ඒ අනුව එම සිසුන්ට එන්නත් ලබාදීම කඩිනම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *