ඩොලර් නැති හෙයින් රට විශාල අර්බුදයකට මුහුණ පාන ලකුණු

නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ජනවාරි 5) අනාවරණය කළේය.

ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා ලෙස ද හෙතෙම ආණ්ඩුවට දැනුම් දුන්නේය.

අද පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහන මල්ල යටතේ ලබාදෙනවා ය කියන ඖෂධ බදු අඩු කිරීම පට්ටපල් බොරුවක් බවය.

“පළමුවෙන්ම කියන්න ඕනේ ඖෂධ වලට බදු අය කරන්නේ නැහැ. ඒ අනුව ඒ කාරණය පට්ටපල් බොරුවක්. දෙවෙනි කාරණය, මේ රාජ්‍ය අංශයේ දැනට ලක්ෂ 15 ක් පමණ ඉන්නවා. විශ්‍රාමිකයෝ ආසන්නයෙන් ලක්ෂ 7 ක් පමණ ඉන්නවා. ඒ අනුව මේ ලක්ෂ 22 ක් පමණ වන ජනතාවට වසරකට රුපියල් 60,000 කින් පමණ අලුත් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න රුපියල් බිලියන 130 ක් පමණ වැය වෙනවා. ආණ්ඩුවේ ආරංචි මාර්ග කියන්නේ මේ සහන පැකේජයට එහෙම නැත්නම් මේ සහන මල්ල රුපියල් විශාල එකක් බවයි. ඒ අනුව පළමුවෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු අය වැයේ වැය පාර්ශවය එනම් බිලියන 5200 කට වැඩි වෙච්ච වැය පාර්ශවය බිලියන 5500 ක් පමණ ප්‍රමාණයක් දක්වා ඉහල යනවා. ඒ වගේම අය වැය පරතරය තව දුරටත් පළල් වීමට නියමිතයි.”

බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශය රටට බරක් ලෙස ය. හැකි පමණ රාජ්‍ය අංශයෙන් ලබාගන්නවා විනා සහන ලබා දීමේ හැකියාවක් නැති බවය. මේ ආකාරයට රාජ්‍ය අංශයට අපහාස අවමාන කරමින් සිට එක්විටම රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට රු. 5,000 දීමනාවක් ලබා දීමටත්, ගුරුවරුන්ට පොරොන්දු ප්‍රකාරව වැටුප් වර්ධක ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු විය හැකිය. නමුත්, රටේ වැඩ කරන ජනතාව අසූ ලක්ෂයක් පමණ ශ්‍රී ලංකාව තුළ සිටියි. ඒ අසූ ලක්ෂයෙන් සහන ලබාදීමට තීරණය කර ඇත්තේ පහළොස් ලක්ෂයකට පමණි.

“වැඩියෙන්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ ඒ අසූ ලක්ෂයෙන් රාජ්‍ය නොවන පුද්ගලික අංශයේ සේවය කරන අයත් ඒ වගේම අවිධිමත් ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවල නියැලී ඉන්න අයත් තමයි අද බඩගින්නට, අසහනයට ලක් වෙලා ඉන්නේ. ඒ අයට කිසිඳු සහනයක් මේ මාර්ගයෙන් ලැබිලා නැහැ. ඇත්තටම මේ මේ මුදල් කොහොමද හොයාගන්න යන්නේ? එක්කෝ ආණ්ඩුව බදු වැඩි කරන්න ඕනේ. දැන් රාවයක් පැතිර යනවා. අයවැයෙන් යෝජිත ඒ බදු වැඩි කිරීමට අමතරව වැට් බදු ආදිය වැඩි කරන්න යන බව. ඉතින් ඒ බදු වැඩි කිරීමක් සිද්ධ කළහොත් එහෙම අවසානයේ මේ වැටුප් වර්ධනයට අවශ්‍ය කරන ධනය උත්පාදනය කරන්නේ ඒ ජන කණ්ඩායම හා වැටුප් වර්ධනයකට යටත් නොවිච්ච අවශේෂ ජන කණ්ඩායම කියන සියලු දෙනාගේම බදු වැඩි කිරීමකින්. ඒකෙන් මේ සමාජ පීඩනය තවත් පුළුල් වෙනවා විතරයි.”

මේ සහන ලබාදීම සඳහා වන ඊළඟ විකල්පය වන්නේ බියගම කොම්පැනියට බාර දීම හෙවත් සල්ලි අච්චු ගැසීමයි.

“ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රියතම විෂය. ඒකෙන් සිද්ධ වෙන්නෙත් මොකක්ද? උද්ධමනය වැඩිවෙලා ගිහිල්ලා, මේ පොදුවේ මේ වැඩි කරපු මේ බිලියන 229 බර, බඩු මිල වැඩිවීමක් හැටියට, සමාජයට නැවත දැනීම. කොටින්ම කිව්වොත්, රුපියල් 54 මාළු මිරිස් කරල රුපියල් කරලා බැසිල් මහත්තයා මේ පඩි වැඩි කිරීම කළා කියන්න පුළුවන්. සල්ලි අච්චු ගැහීම පිළිබඳ කාරණය සැලකිල්ලට ගත්තොත්. ඉතින් ඒ අනුව පේනවා මේක විසඳුමක් නෙවෙයි කියන එක. ඒ වගේම සමස්ත ණය බර පිළිබඳ ගැටළුවට විසඳුම් නොදී ඒ පිළිබඳව වෙච්ච පුළුල් විධිමත් වැඩසටහනකට නොගිහින් අතනින් මෙතනින් ගන්න මේ විසඳුම් වලින් මේ අර්බුදය තවත් තීව්‍ර වෙනවා. ජාතියේ ආර්ථික වල, එහෙම නැත්නම් මිනී වල තවත් ගැඹුරට කැපීමක් විතරයි මෙයින් සිද්ධ වෙන්නේ කියන එක අපි අවධාරණය කරනවා සමස්තයක් හැටියට.”

එතකොට මොකක් හරි හැමදාම මේ රාජපක්ෂලා, විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා මොකක්හරි වැඩක් කලොත් යටි අරමුණක් තියෙනවා. මොකක්ද මේකේ යටි අරමුණ? අපට පේනවා කරුණු කිහිපයක්. එකක් තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට, නොයෙක් කතා පවත්වලා, විරෝධතා කතා පවත්වලා, සිංහ නාද නගලා, අපි ඇමති මණ්ඩලවල මොහොතක්වත් ඉන්නේ නෑ වගේ වාමාංශික, වාග්ලාප එහෙම ඇහිලා අපිට දැන් නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරන්න යනවා. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට යනකොටම කරන්න වෙන දෙයක් තමයි, රුපියල පාවෙන්න අරින්න වෙනවා. මේ ඩොලරයට තියෙන රුපියල් 203, ඒ අනුව රුපියල් 240 ත්, 250 ත් අතරට ගානකට පත් වේ. ඒ පත්වූ වහාම මේ බඩු මිල නැවත ඉහළ නගිනවා. මේ බඩු මිල නැවත වැඩි වෙනවා. එතකොට ඒ බඩු මිල නැවත වැඩි වීම නිසා රාජ්‍ය අංශයෙන් එල්ල වන පීඩනය යම් ප්‍රමාණයකට කලින්ම සමනය කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් විය හැකියි මේ පඩි වැඩි කිරීම්.”

එමෙන්ම අනාගතයේ මේ රාජපක්ෂ සාපයේ ණය ගෙවීම සඳහා රාජ්‍ය දේපළ විකුණා දැමීම දැන් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක තෙල් ගැනීම සඳහා වසර 15 කින් ශ්‍රී ලංකාවට අයිති වීමට තිබූ තෙල් ටැංකි වසර 50 කට බදු දීම සඳහා වන දේශද්‍රෝහී ගිවිසුම තව සතියකින් අත්සන් කිරීමට නියමිතය.

“ඒ වගේම රටේ ගෑස් සම්පත NFC සමාගමට විකිණීමේ ප්‍රයත්නය ලිඛිතව අත්සන් කොට හමාරයි. ඊළඟට අදානි සමාගමට කිසිම ප්‍රසම්පාදනයකින් තොරව වසර 50 ක් යනතෙක් මේ රටට ප්‍රයෝජනයට ගත හැකි සුළං බලය හා සූර්ය බලය අමු අමුවේ පැවරීමට, බලශක්ති අමාත්‍යාංශය සූදානම්. එතකොට මේවට නැගෙනවා විරෝධතාවයක්. වරායේ ඉඩම්, චීන සමාගමට පැවරීමට එරෙහිව, ඒ වගේම තෙල් සංස්ථාවේ තෙල් ටැංකි පැවරීමට එරෙහිව, විදුලිබල මණ්ඩලය මේ කරන පාවාදීම් වලට එරෙහිව, වැඩකරන ජනතාව බලමුළු ගැන්වෙනවා. ඒ වගේම සෙලෙන්දිවා සමාගම හරහා, රාජ්‍ය බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි අය සම්බන්ධ, ඒගොල්ලන්ට අයත් වෙච්ච, ඔවුන්ගේ මූලස්ථාන, විදේශිකයන්ට තුට්ටු දෙකට විකිණීමේ වැඩපිළිවෙලට එරෙහිවත්, ජීවන බරත් එක්ක රාජ්‍ය අංශය කැළඹීමක් තියෙනවා. මේ රාජ්‍ය අංශයේ එන කැළඹීම, මහා වැඩවර්ජනයක් කරා, ගමන් කිරීම වැළැක්වීමත්, එක යටි අරමුණක් මෙතන.”

දැන් ආණ්ඩුව පුපුරා යමින් පවතී. ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙතෙක් පැවැති අර්බුදය මහජනයාගේ හූ හඬ මැද්දෙන් දැන් පුපුරා යමින් පවතී. මහජන කෝපය සහ ආණ්ඩුව පුපුරා යමින් පවතී. මේ පුපුරා යාම පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිටත සිදු විය හැකිය. පාර්ලිමේන්තුවෙන් පිටත විය හැකි බරපතලම පුපුරා යාම රාජ්‍ය අංශයේ නැගී සිටීමයි. මේ නැගී සිටීම පාලනයට මේ පියවර ගත්තා විය හැකි බව ද රණවක මහතා පෙන්වා දෙයි.

“බැසිල් මහත්තයා නම් කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. යටි අරමුණු නැතුව IMF එකට ගිහිල්ලා රාජ්‍ය අංශයට කරන්න යන, එහි මිනී වළ කපන, ඒ ක්‍රියාදාමයේ දී එන විරෝධය වසා ගැනීම සඳහා කලින්ම ගත්ත උපායමාර්ගයක් හැටියටයි අපි නම් මේක දකින්නේ. ඒ වගේම මේක කෙටියෙන්ම කිව්වොත් මේ සහන ලැබීම ගැන අපි සතුටු වෙනවා රාජ්‍ය අංශයට. නමුත් ආර්ථික මිනී වල තවත් ගැඹුරට කපා ගැනීමක්. අර්බුදය තවත් වේගවත් කර ගැනීමක්, අයවැය පරතරය තවත් උග්‍ර කර ගැනීමක් හැටියටයි අපි මේක දකින්නේ.”

සහන ලබා දෙනවානම් සියළුම ක්ෂේත්‍ර වලට සහන ලබා දිය යුතුය. සහන හැටියට මුදල් නොව මේ මෝඩ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් කොට ජනතාවට ප්‍රමිතියකින් යුතු පොහොර ලබා දිය යුතුය.

මේ මාසයේ ණය ගෙවීමෙන් අනතුරුව විදේශ සංචිත අවසන් වේ. සංචිත වැඩි කිරීම් පිළිබඳව මායා කතා මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකු අධිපතිවරයාගේ විහිළුවක් පමණි.

“අද කිව්වානේ බිලියන් 3 කින් වර්ධනය වුණා කියලා. අපි අහනවා පෙට්‍රෝ චයිනා එකේ නැව් දෙකක් වරායේ නවත්තගෙන පෙට්‍රල්, ඩීසල් බාගන්න විදිහක් නැතුව LC අරින් නැතුව ඒ ඒවා LC ඇරියේ නැත්නම් ඊළඟ දින 8 ඇතුළත පෙට්‍රල් ඩීසල් හිඟයක් එනවා. ඒක නිසා ඔය හම්බුනයි කියන ඩොලර් වලින් කරුණාකරලා මේ LC ටික ඇරලා පෙට්‍රල් ඩීසල් හිඟය මග අරින්න.”

දැන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබේ. 23 වෙනිදා බොරතෙල් නැව පැමිණීමට නියමිතය. මෙතෙක් ණයවර ලිපිය විවෘත කොට නැත. දැනටමත් මෙගා වොට් 220 ක් ලංකා විදුලි බල මණ්ඩලට වසා දමා අවසානය. ලබන 15 වෙනිදා සිට රට විදුලිය කප්පාදුවක් කරා ගමන් කරන බව විදුලි බල මණ්ඩල පත්‍රිකාවලින් පැහැදිලි වේ.

“ඒ නිසා මේ පූච්චානන් කතා කයිවාරු කතා නරිවාදන් නවත්තලා කරුණාකරලා මේ තෙල් සංස්ථාවේ ඇවිල්ලා තියෙන නැව් දෙක බාගන්න පිරිපහදුවට තෙල් ටික සපයන්න විදුලිබල මණ්ඩලයට ගල් අඟුරු සපයන්න. අද මම කියනවා මේ විධිමත් ක්‍රියාමාර්ගය නොගත්තොත් මාර්තු මාසය වෙනකොට රට දැවැන්ත විදුලි බල අර්බුදයකට හා ඉන්ධන අර්බුදයකට යනවා. තෙල්, පෝලිම්, විදුලි බල කප්පාදු, ජලය නැතුව මිනිස්සු වේදනා විඳින තත්ත්වයකට පත්වෙනවා. මේ කටයුතු වල ප්‍රායෝගික ඇත්තට මුහුණ දෙන්න කියන එක අපි තෙල් සංස්ථාව සහ මුදල් අමාත්‍යාංශය කරවන ඇත්තන්ටත්, මහ බැංකුව කරවන ඇත්තන්ටත් අපි ප්‍රකාශ කරන්න කැමතියි.”

“ඒ වගේම මේ සුසිල් ප්‍රේම්ජයන්ත මහත්තයාගේ සිදුවීමත් එක්ක ජනාධිපති විවේචනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නවයි කියලා පොලිසියෙන් ආපු ඒ නිවේදනයත් එක්ක අපිට තේරෙනවා මර්දනය කැඳවමින් තියෙනවා. මේක තමයි එක ම විසඳුම තියෙන මර්ධනය කැඳවීම. මේකට එරෙහිව සියලුම දෙනා වමේ වේවා, දකුණේ වේවා, මාක්ස්වාදී වේවා, බෙදුම්වාදී වේවා, ධනවාදී වේවා මේ සියලුම ප්‍රතිපත්ති රාමු පසෙක දාලා, පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මිනිස් නිදහස අගයන අයට එක ධජයක් යටතට අපි එක්වෙමු කියන ආයාචනයත්, අපි මේ අවස්ථාවේ සියලුම විපක්ෂ කණ්ඩායම් වලටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ ඉඳගෙන, ගුටි බැට කකා ඉන්න ඒ රාජපක්ෂ විරෝධී ප්‍රජාතන්තතවාදී බලවේග වලටත් අපි මේ අවස්ථාවේ ආයාචනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *