ඩොලර් අර්බුධය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසාදමයි.

ඩොලර් හිඟයක් හේතුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉරාකයේ බැග්ඩෑඩ් සහ නෝර්වේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය මාර්තු 31 වැනිදා සිට වසා දැමීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ පවතින අමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් මතුව ඇති බරපතළ ගැටලු සලකා බැලීමෙන් අනතුරුවය.

එමගින් ඉරාකය සමඟ ශ්‍රී ලංකා කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය හරහා සිදු කෙරේ. නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ස්වීඩනයේ ස්ටොක්හෝම් තානාපති කාර්යාලය හරහා සිය කටයුතු මෙහෙයවනු ඇත. කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිඩ්නි කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු හසුරුවනු ඇත.

විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 63ක් පවතින බව ප්‍රකාශ කළ විදේශ කටයුතු අමාත්‍යාංශය, දූත මණ්ඩල 3ක් වසා දැමීමත් සමඟ මුළු කාර්යාල සංඛ්‍යාව 60 දක්වා අඩු වන බව ප්‍රකාශ කළේය.

ඩොලර් හිඟය හේතුවෙන් විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ක්‍රියාත්මක කිරීමේදී දුෂ්කරතා මතුව ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *