LK reports news sinhala

ජාතිවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් විග්නේෂ්වරන්ට එරෙහිව විමර්ශන

ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය හරහා කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (23) දන්වා සිටියේය.

පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වී‍මේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව මෙම විමර්ශනය පවත්වන බවයි.

අතුරුගිරිය පදිංචි නදීක දර්ශන වේරදුව නමැති අය කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය මෙලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. එම පැමිණිල්ල මගින් පෙන්වාදී ඇත්තේ,

‘‘හමුදාව විසින් ලක්ෂයකට අධික දෙමළ ජනතාව වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මරා දාලා.’’

‘‘එල්.ටී.ටී.ඊ.ය. කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි.’’

‘‘උතුරු පළාතේ බුදු පිළිම ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා.’’

වැනි ප්‍රකාශ මගින් ජාතීන් අතර අසමගියක් ඇති බව බවයි.

මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට නියම කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන අගෝස්තු 03 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *