ජනාධිපති,ඇමති,මන්ත්‍රී වරප්‍රසාද නැවත සලකා බලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන. කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරීන් ආදි විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දී ඇතැයි රජය පවසයි .

එකී හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබා දීම සඳහා මහජන බදු මුදලින් රජයට සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට සිදුවන අතර, වර්තමාන රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ මෙම අති විශාල වැය බර අවම කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම්, දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීම පිණිස, යෝග්‍ය නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක්, මාස දෙකක්  තුළ ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල  කමිටුවක් පත් කිරීමට අධිකරණ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සහා පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කේ.ටී. චිත්‍රසිරි -(සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨායිකරණ විනිසුරු

ඩී.දිසානායක මහතා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්

ජයන්කා සී.ටී. බුළුමුල්ල මහත්මිය විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති එම කමිටු සාමාජිකයෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *