ජනපති නියමයෙන් පොලිස් භාරයට ගත් දෙහිවල හා බේරුවල නිවාස යළි ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල, පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (27දා) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ නියෝග මත තම නිවාස පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම නිවාස හිමිකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ඒ බව දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.

දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි මොහමඩ් හයිතුල්ලා, මොහොමඩ් හසිම් යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ ත්‍රස්තවාදී විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම නිවෙස් පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ, එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති. පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇතැයි පැවසීය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කීර්ති තිලකරත්න සහ අස්විද රවීන් මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශ්‍රවීන්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *