ජනපති දෙමටගොඩ දුම්රිය අංගනයේ නිරීක්ෂණය චාරිකාවක.

රාජ්‍ය නිලධාරීන්ට සතුටුදායක සේවාවක් ලබාදීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ගැටලු හේතුවෙන් ඇති වූ උසස්වීම් සම්බන්ධ ගැටලු විසඳීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පස්වරුවේ කොළඹ, දෙමටගොඩ, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ සහ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ආයතනවල දෛනික කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පවතින ගැටළු සහ අවශ්‍යතා සම්බන්ධයෙන් සේවකයින් සමඟ සාකච්ඡාවක ද නිරත විය.

දෙපාර්තමේන්තුවේ වගකීම් අතරට සාමාන්‍ය අලුත්වැඩියාවන් සිදු කිරීම, යාන්ත්‍රික ඉංජිනේරුවන් සඳහා අවශ්‍ය වැඩිදියුණු කිරීම් නිර්දේශ කිරීම, නව එන්ජින් සහ මැදිරි පරීක්ෂා කිරීමෙන් පසු යෝග්‍යතාවය සහතික කිරීම සහ දුම්රිය අනතුරක්, පීලි පැනීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දුම්රිය සේවාව යථා තත්ත්වයට පත් කිරීම ඇතුළත් වේ.

මැදිරි අභ්‍යන්තර හා බාහිර පිරිසිදු කිරීම ඇතුළු පුළුල් පරාසයක සේවාවන් ආයතනය මඟින් සපයයි. දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන ධාවන මඩු පහක්, වේදිකා දෙකක් සහ කොළඹින් පිටත තවත් ධාවන මඩු 15 ක් පමණ ඇත.

කාර්මික පුරප්පාඩු සඳහා කම්කරු මට්ටමින් සේවකයන් බඳවා ගැනීම සේවකයන්ගේ අප්‍රසාදයට හේතු වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නා. දක්ෂතා ඇති තරුණ ශ්‍රමිකයන් ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයට සහ වෘත්තීය පුහුණු ආයතන වෙත යොමු කර පුහුණු අවස්ථා ලබා දී ඒ අනුව විධිමත් උසස්වීම් ක්‍රමයක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ඉන්ධන ප්‍රවාහනය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා දුම්රිය භාවිත කිරීමේ ප්‍රතිලාභ වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දුන්හ.

දෙමටගොඩ, ආරාමය පාරේ පිහිටි තන්ත්‍රි ට්‍රේලර්ස් (පුද්) සමාගමේ අබලන් වූ මැදිරි අලුත්වැඩියා කරමින් පවතින යාන්ත්‍රික අංගනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *