ජනපති චීන විදේශ ඇමතිට ඉල්ලීම් තුනක් යෝජනා කරයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර වසර 65ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය සහ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී වැන්ග් යී මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. .

චීන විදේශ අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර පවතින ඓතිහාසික සමීප සබඳතා ද සිහිපත් කළේය.

කොවිඩ්-19 වසංගතය හමුවේ චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය සහ මූල්‍ය ආධාර පිළිබඳව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් චීන විදේශ අමාත්‍යවරයා වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය.

දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සිහිපත් කළ වැන්ග් යී මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවත් චීනය සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට සැමවිටම සහාය දෙන බවත් ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 එන්නත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට Sinopharm එන්නත් ලබාදීමට චීන රජය ලබාදෙන අඛණ්ඩ සහය පිළිබඳව ද ජනාධිපතිතුමා සිය කෘතඥතාව පළ කළේය.

ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ප්‍රධාන ඉල්ලීම් තුන පහත දැක්වේ.

කොවිඩ් 19 වසංගතය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ණය ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය රටට විශාල සහනයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
නව සාමාන්‍යකරණයක් යටතේ ශ්‍රී ලංකාව නැවතත් විදේශීය සංචාරකයින්ට විවෘත විය. ජෛව බුබුලු සංකල්පය යටතේ චීන සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටියේය.
චීනයෙන් ආනයනය කිරීම සඳහා සහනදායී වෙළෙඳ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළ හොත් එමඟින් කර්මාන්ත කටයුතු සුමටව පවත්වාගෙන යාමට හැකිවන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
චීනයේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍ය වං යී මහතා ජනාධිපතිවරයා වෙත ආරාධනාවක් කළ අතර එම සංචාරය නුදුරු අනාගතයේදී සිදුවනු ඇති බවට විශ්වාසය පළ කළේය.

චීන තානාපති Qi Zhenhong, උප වාණිජ කටයුතු අමාත්‍ය Qian Keming, සහකාර විදේශ අමාත්‍ය WuJianghao, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ උප සභාපති Zhang Maoyu, විදේශ අමාත්‍ය මහාචාර්ය G.L. පීරිස්, ජනාධිපති ලේකම් P.B. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *