LK reports news sinhala

ජනපතිවරණ නාම යෝජනා සටන උණුසුම් වෙයි

මෙරට තීරණාත්මක ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා කැඳවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් පමණි. ඒ වෙනුවෙන් ප්‍රධාන පක්ෂ ගණනාවක්ම මේ වනවිට සිය අපේක්ෂකයා තෝරාගැනීමේ අර්බුදයකට මුහුණ පා සිටී. සෑම පක්ෂයකම අභ්‍යන්තරයේ ජනපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇත්තේ සීතල යුද්ධයකි.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මුහුණදී සිටින්නේ දැවැන්ත අර්බුදයකටය. පක්ෂය දෙකඩ වෙමින් පවතින බවක් එළිපිටම පෙනෙන්නට ඇත. එහිදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් මේ වනවිට රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කර ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ගොඩනැගීමට බලාපොරොත්තුවන සන්ධානය මේ වනවිටත් අපෙක්ෂකයකු තීරණය කර නැත. ඒ අතරතුර වත්මන් අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා කිහිපයක් ද පැවැති අතර ඒවාද නිමවී ඇත්තේ කිසිදු එකඟතාවයකින් තොරවය.

නමුත් මේ වනවිට විශාල බලාපෙරොත්තු සහගතව සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන දේශපාලන සන්ධානය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කරළියට ගෙන එමින් සිටී. ඔහු වටා ඒකරාශී වී ඇති බලවේග රාශියකි. එමෙන්ම දෙකඩවී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්වන ලකුණ පෙනෙන්නට ඇත. පොදුජන පෙරමුණ සිය ජාතික සම්මේලනය අගෝස්තු 11වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. එහිදී පළමු වරට ඔවුන්ගේ ජනපති අපෙක්ෂකයා කවුරුන්ද යන්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව කියවේ. විශේෂයෙන්ම වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර ඒවා ධනාත්මකව අවසන්වූ බවට තොරතුරු වාර්තා වේ. එබැවින් පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය එක්ව කටයුතු කිරීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. ඊට තවත් ධනාත්මක ලකුණක් වන්නේ එස්.බී.දිසානායක ඇතුළු පිරිසක් 11වැනිදා පොදුජන පෙරමුණේ සම්මේලනයටද එක්වීමට සූදානම් වන බවට ප්‍රකාශ වීමයි.

ජනපතිවරණ සටන මෙවරත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනකු අතර දෝලනය වීමේ ඉඩක් පැවතිය හැකි වුවත් එජාපයේ දෙකඩවීමක් සිදුවුවහොත් මෙය තුන්කොන් සටනක් විමේ අවස්ථාවක් ද ඇත. වත්මන් කථානායක කරු ජයසූරිය මහතා ද ජනපති අපෙක්ෂකත්වය බලාපොරොත්තුවෙන් පසුවන බව නොරහසකි. එසේම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට හිතවත් පිරිස වෙනුවෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස නොවීමටද ඉඩ ප්‍රස්තාව වැඩිය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සුළු පක්ෂ සිය ‍අපෙක්ෂකයන් සම්බන්ධයෙන් තීරණ ගෙන ඇතත් මේ වනතුරු එම නාමයන් ප්‍රකාශ වී නැත. ඒ අනුව ඡන්ද බෙදීයාමේ අවධානමක් ද පැනනැගී ඇත.

කෙසේ වෙතත් වත්මන් ආරක්ෂක තත්ත්වය මෙන්ම ජනතාවගේ තීරණාත්මක ඡන්දයද ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසට නැඹුරු වෙමින් පවතින වකවානුවක වෙනත් සිංහල බෞද්ධ ඡන්ද පදනම වෙනුවෙන් පෙනී සිටින අපෙක්ෂකයකු මතුවීමේ හෝ මතුකරවීමේ අවස්ථාවක් ද ඇත. මේ සියලු සාකච්ඡා, ගැටුම් මැද මෙවර ජනපතිවරණය අතිශය උණුසුම්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.

(Image – Colombo Telegraph)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *