චන්දිමාල් අනාගතය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලයි

හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.

“ක්‍රිකට් කියන්නේ මගේ වෘත්තීය. මම ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. මගේ අනාගතය ගැන නිවැරදි තීරණය ගැනීමට එය වැදගත් වෙනවා,” චන්දිමාල් සිය ලිපියේ දක්වා ඇත.

චන්දිමාල් පවසන්නේ තම ක්‍රීඩා දිවිය තුළ තමා සෑමවිටම රට ප්‍රමුඛ ස්ථානයේ තබා තීරණ ගත් බවත් ය.

පසුගිය වසර කිහිපය තුළදී ඔහුව කණ්ඩායම සඳහා තෝරාගැනීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් ඔහුව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවත් ඒ හේතුවෙන් තම ක්‍රීඩා විලාසයටත් දැඩි බලපෑමක් ඇතිව තිබෙන බවත් චන්දිමාල් සිය ලිපියෙන් පෙන්වා දෙයි.

චන්දිමාල් සිය ලිපියෙන් අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් වැනි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා ගැන සංසන්දනාත්මකව තොරතුරු සටහන් කර තිබුණි.

පසුගිය මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති ටෙස්ට් සහ එක්දින තරඟාවලි සඳහා චන්දිමාල් ක්‍රීඩා කළේය.

එහි දෙවැනි ටෙස්ට් තරඟයේදී පිළිවෙලින් ලකුණු 44ක් සහ නොදැවී ලකුණු 10ක් ලබාගත් චන්දිමාල් එම සංචාරයේ එක්දින සහ 20/20 තරඟවලදී ද පිත්තෙන් දස්කම් දැක්වීය.

නමුත් අනතුරව පැවති බංග්ලාදේශ් සහ එංගලන්ත සංචාර සඳහා පමණක් නොව ජූලි 18 වනදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරඟාවලියට ද ඔහුව නම් නොකිරීමට මෙරට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *