ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි – ජනාධිපති අනුර

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන  ඉදිරි සැලසුම් සකස් විය යුතු බව  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි  ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී  පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන  සාකච්ඡාවට එක්වෙමිනි.

ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන  වගකීමක් බව කී ජනාධිපතිවරයා ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල  ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *